top of page

වොලී බැස්‌ටියන්

  • Writer: Adminsmulestar Srilanka
    Adminsmulestar Srilanka
  • Feb 27, 2017
  • 2 min read

බයිලා සහ කපිරිඤ්ඤා ගීත ශ්‍රී ලාංකික ගීත සාහිත්‍යට ආවේණික නොවන ඕලන්ද, පෘතුග්‍රීසී සහ ස්‌පාඤ්ඤ, ජාතිකයින්ගෙන් ලද අභාෂයෙන් නිර්මාණය වුවත් එම ගී අසන, රසවිඳින, ගායනා කරන බොහෝ දෙනා සිහිපත් කරනුයේ වොලි බැස්‌ටියන් නම් ගායකයාය.

'බයිලා චැමිපියන්' ලෙස ඔහු ගෞරවයට පාත්‍රවිය. ඔහුගෙන් පසු බයිලා ගීත ලොවට ප්‍රවේශ වූ ගායන ශිල්පියෙකූ වන ඩෙස්‌මන් සිල්වා විසින් ගායනා කරන, වර්නන් පෙරේරා හා හේමසිරි හල්පිට විසින් රචිත, ස්‌ටැන්ලි පීරිස්‌ගේ සංගීතයෙන් පණපෙවූ ගීතයක්‌ වන, පහත සඳහන් ගීතය ඔහුට උත්තම උපහාරයකි.

ලංකාවට බයිලා ගෙනා වොලී බැස්‌ටියන් බයිලා වලින් රට හොල්ලපු බයිලා චැම්පියන්... සමාජ සේවකයා... ඔහු පොලිසියෙ ගායකයා කිව්වම කව්ද නොදන්නේ....

1940 දශකය වොලී බැස්‌ටියන්ගේ බයිලා ගායන දිවියේ ස්‌වර්ණමය අවධියේ ආරම්භය ලෙස සනිටුහන් කළ හැකිය. ගායනය මෙන්ම බයිලා ගීත පද රචනය සහ සංගීත තනු නිර්මාණයද, ඔහුගේම වීම සුවිශේෂි ලක්‍ෂණයකි. එමෙන්ම සංගීත භාණ්‌ඩ වාදනයද ඔහු විසින්ම සිදු කරමින් ගයනුයේaa සමස්‌ත මහජනතාවගේ ස්‌වකීය ජීවන ප්‍රතිපදාවේ රටාවන්, චර්යාවන් සහ සමාජයේ එදිනෙදා මුහුණ දෙන සමාජ සංසිද්ධීන් පාදක කර ගනිමින් නිර්මාණය කරන බයිලා ගීතයන්ය.

ගිටාර්, බැන්ජෝ, වයලීන් යන සංගීත භාණ්‌ඩ වාදනයේ ඉතා දක්‍ෂ නිපුනතාවයක්‌ දැක්‌වූ වොලී එම හැකියාවන් මත ජනප්‍රියත්වයේ හිනි පෙත්තටම ප්‍රවේශ වූයේ බයිලා හා කපිරිඤ්ඤා සංගීත කලාවටම ආවේනික වූ සංගීත භාණ්‌ඩයන්හි සත්සර රාවය තම ගීතයන්ට මුසුකරගත් නිසාමය. ඔහුගේ බයිලා ගීත අදටත් රසික මුවග රැව් පිළිරැව් දේ. එදා මෙදා තුර ශ්‍රී ලංකාවේ සංගීත කණ්‌ඩායම්වල ගායකයින් අතර වොලීගේ සිංදුවක්‌ නොකී කෙනෙක්‌ නොමැති තරම්ය.

කෝරස්‌ බයිලා වොලී බැස්‌ටියන් ගායකයාගේ බයිලා ගායනයේ තවත් පැතිකඩකි. කෝරස්‌ බයිලා යනු නිතර ගැයෙන ගීත කණ්‌ඩයක්‌ද සහිත බයිලාය. එම ගීත කණ්‌ඩය එකම තනුවකට අනුව බයිලාව ආරම්භයේදී සහ අවසානයේදීත් මැදදීත් ගයනු ලබයි. කෝරස්‌ බයිලා ගායනය මෙරටේ ජනප්‍රිය කරවීමෙහිලා පුරෝගාමී වූ ශිල්පියා ලෙස සැලකෙන්නේද වොලී බැස්‌ටියන්ය. ඔහුගේම බයිලාවකින් ඔහු ඒ බව පවසයි. වොලී බැස්‌ටියන්ගේ අදටත් ජනප්‍රිය මේ කෝරස්‌ බයිලා බාල මහළු කාගේත් මුවග රැව් දේ. ඔහු විසින් රචනා කොට තනු නිර්මාණය කර ගැයූ ගී අතරින් ඇතැම් බයිලාවන් ඒලියන් ද සොයිසා විසින් ගායනා කර ඇත. මේ එවන් ගීතයක කොටසකි. හායි හූයි බබි ආචිචිගේ බයිසිකල් එක කොල්ලො කෙල්ලො වටකරගෙන ගැහුව බෙල් එක, යමං බංඩො වෙසක්‌ බලන්ඩ ගනින් බර බාගෙ බඳින්න, වොලී බැස්‌ටියන් විවිධ විෂයයන් යටතේ බයිලා රාශියක්‌ ලියා තනු යොදා ගායනා කොට ඇති අතර ඇතැම් ප්‍රබන්ධ වල අමුතු තාලයේ සිංහල ඉංග්‍රීසි භාෂා සම්මිශ්‍රණයෙන් කළ නිර්මාණයනA වෙනස්‌ම හා නැවුම් මුහුණුවරක්‌ ගන්නා ලදී. නෝනා මගෙ නර්ස්‌ නෝනා ඔබ සිහි වෙනවා නිතර දෙවේලේ නෝනා මගේ නර්ස්‌ නෝනා ඔබ රජ කුමරිය ඉස්‌පිරිතාලේ මෙම ගීතය 1940 දශකයේ හෙදියක්‌ ලෙස සේවයේ යෙදී සිටි සිය සොයුරියක්‌ වන ෆෙලිෂියා පෙලොරන්ස්‌ මහත්මිය වෙනුවෙන් ගායනා කරන ලද බයිලා ගීතයකි. දසක ගනනාවක්‌ පුරා ජනාදරයට පත් වොලි බැසිටියන් පොලීසියේ රථවාහන රාජකාරිවල නියුතුව සිටි පොලිස්‌ සැරයන්වරයෙකු වශයෙන් සිය වෘත්තිය වගකීම ඉටුකරමින් ඉතා නිහතමානීව දිවි ගෙවූ කලා ශිල්පියෙකි. ශ්‍රී ලාංකීය ගීත කලාවේ ඉතා සරල ජනප්‍රිය බයිලා සහ කපිරිඤ්ඤා සංගීතය තම ජීවිතය කොට ගනිමින් ශ්‍රී ලංකා පොලීසියේ ප්‍රශංසනීය නාමය සුරැකි වොලී බැස්‌ටියන් නම් මේ සොඳුරු මිනිසා 1985 ජනවාරි 16 වන දින කලා ලොවෙන් සහ ජාතියෙන් සමුගන්නා ලදී. නමුත් ඔහුගේ නාමය සදා අමරණීය වේ.

දිවයින පුවත්පත ඇසුරිණි

Comments


Featured Posts
Recent Posts
Archive
Search By Tags
Follow Us
  • Facebook Basic Square
© 2017 Smule Star Sri Lanka / © 2017 Adminsmulestar Sri Lanka
bottom of page